ඒකාබද්ධයේ මන්තී‍්‍ර රොෂාන්ට ජීවිත තර්ජන


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවා ජුලිගේ)

සංවිධානාත්මක පිරිසක් තමාට සහ තම පවුලේ උදවියට ජීවිත තර්ජන එල්ල කර ඇතැයි පොළොන්නරුව දිස්ති‍්‍රක් (එජනිස) මන්තී‍්‍ර රොෂාන් රණසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ දිස්ති‍්‍රක්කය වන පොළොන්නරුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වන තමා ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙමින් කටයුතු කරන බවත් එය නුරුස්සන පිරිසක් මෙවැනි තර්ජන සිදුකරන බවට සැකයක් ඇති බවත් ඔහු කීය.

තර්ජන එල්ලවූ අවස්ථා තුනක් පිළිබඳව කතානායකවරයාට කරුණු දක්වමින් මන්තී‍්‍රවරයා මෙසේද කීය. 2010 වසරේ සිට මේ දක්වා පොළොන්නරුව දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කරන්නේ මා දේශපාලන කටයුතු හා ලිපි ලේඛන කටයුතු සිදු කළේ නො. 262 ගාලූ පාර තල්පිටිය උතුර වාද්දුවේ පිහිටි ගොඩනැගිල්ලේදීයි.

මෙම කාර්යාලයද සමග ගොඩනැගිල්ල තුළ 2017 අගෝස්තු 22 වැනිදා ගින්නක් හටගත් අතර එමගින් මහල් පහකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලේ බිම් මහල සහ පළමු මහළ විනාශ වූ අතර අනෙක් මහල් දක්වාද ගින්න ව්‍යාප්ත විය. මේ නිසා අදාළ ගොඩනැගිල්ලට දැවැන්ත හානියක් විය.

මෙදින රාති‍්‍රයේ වාද්දුව පොලිසියේ නිලධාරිහු පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළහ. මේ පිළිබඳව ආයතනයේ නිලධාරින් විසින් පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. එම පොලිස් පරීක්ෂණ අනුව රස පරීක්ෂකතුමන් පැමිණ සිදුකළ පරීක්ෂණයේ වාර්තා 2017 නොවැම්බර් 21 වැනි දින නිකුත් කර ඇත. ඒ රස පරීක්ෂණ වාර්තාව වාද්දුව පොලිසියේ ස්ථානාධිපතිවරයා මාහට කියවූ අතර එතුමා කියා සිටියේ මෙය සිතා මතා සැලසුම් කළ හානියක් බව වාර්තාවේ සඳහන් වන බවය.

මෙම ගොඩනැගිලලේ දෙවන මහලේ මා නවාතැන් ගන්නා අවස්ථාද ඇත. පොළොන්නරුවේ ඡන්ද දායකයෝද මෙහි පැමිණෙති. මෙය මාගේ ජීවිතයට මෙන්ම එදිනෙදා දේශපාලන කටයුතු අඩාල කිරීමටත් මා සම්පූර්ණයෙන් මානසිකව බිඳවට්ටා දැමීමටත් ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමටත් සිතාමතා කළ දෙයක් බව මට හැඟීයයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරයකු ලෙස මීට පෙරද අනතුරු දෙකකට මුහුණ පෑමට මට සිවිය. නොහඳුනන පිරිසක් පොළොන්නරුව කාර්යාලය වටකොට පහරදීමට වෑයම් කළ අතර ඒ ගැන මා පොළොන්නරුව පොලිසියට පැමිණිලිකර ඇත.

2017 මැයි 5වැනිදා මා වැලිකන්ද ප‍්‍රදේශයේ දේශපාලන කි‍්‍රයාකාරින් හමුවී නැවත නිවසට පැමිණෙද්දී මා ගමන් ගත් වාහනයට ප‍්‍රහාරයක් එල්ල විය. මේ ගැන මගේ ආරක්ෂක නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මේ ගිනිගත් ආයතනයට ඉබ්බෝ දමා තිබුණි. එහි සී සී ටී වී කැමරා පද්ධතිය විනාශ වෙන ආකාරයට තමයි මේ දේ සිදුකර තිබෙන්නේ. මෙම සිද්ධීන් මගේ ජීවිතයට මෙන්ම මාගේ පවුලේ සියලූ දෙනාටත් මගේ ඉදිරි දේශපාලන ජීවිතයටත් විශාල ත්ර්ජනයක් සහ හානියක් ලෙස සැළකිය හැකි නිසා ඉදිරියටද මෙවැනි දෑ සංවිධානාත්මකව සිදුවිය හැකි නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ අංශ වෙත නියෝග කරන ලෙසද ඉල්ලා සිටිමි. මා අමාත්‍ය ධුරයක් දරපු නැති නිසා මට මොනයම් හෝ චෝදනාවක් නැහැ. මා නීතියට අනුව කටයුතු කළ අයෙක්.

මේ නිසා මේ සැලැස්මේ තියෙන්නේ මගේ ජීවිතය අවසන් කිරීමක්. මෙවැනි සිදුවීම් පසුගිය කාලේ සිදු නොවුණා නොවෙයි. මේ කරුණු අනුව මට ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලූවත් ඒවා සිවූයේ නැහැ. පොළොන්නරුවේ මන්තී‍්‍රවරයකු ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු වන මා බිය වැද්දීමේ තර්ජනයක් තිබෙනවා.