ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා


(නාලක සංජීව දහනායක)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට නොදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ අද (18) සාකච්ඡා කළහ.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

එම හමුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට මෙලෙස පැවසීය.

  ‘‘මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමේ භයානක තත්ත්වය ගැන අපි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. මෙම ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමත් සමඟ අපේ රටේ දැඩි අනතුරකට පත්වෙනවා. මෙම තීරණයට අපි කොතරම් විරුද්ධ වුණත් ආණ්ඩුව තමන්ගේ තීරණය වෙනස් කරන්න සූදානම් නැතිබව මෙම  සාකච්ඡාවේදී වැටහුණා යැයිද කීය.‘‘

මෙම සාකච්ඡාව විනාඩි 30ට අධික කාලයක් පැවතිණ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, තාරානාත් බස්නායක, අනුර ප්‍රියදර්ශණ යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.