(නාලක සංජීව දහනායක)
පසුගිය රජය සමයේ පොත්පත්වල සටහන් නොතබා රහසිගතව ණය ලබාගෙන ඇති බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැවැසීය.
ඒ අනුව අගමැතිවරයා සඳහන් කළ පරිදි ලංකා ආණ්ඩුව රහසිගතව ණය ගෙන තිබේද, 2008 වසරේ සිට 2014 දක්වා වංචා සහගත ලෙස බැඳුම්කර නිකුත් කර තිබේද? පුරවැසිකම නැති පුද්ගලයෙකු අත්සන් තැබූ මුදල් නෝට්ටු නිකුත් කිරීම සහ රජයේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණය අනුව රටට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ලබා ගෙන තිබීම යන කරුණු හතර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම තේරීම් කාරක සභාව පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයකුද සහිතව මෙම තේරීම් කාරක සභාව පත්කරන ලෙස කතානායකවරයාට යෝජනා කරන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම විමර්ශනය මඟින් අගමැතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ රට පිළිබඳව ඇති වූ වැරදි වැටහීම දුරුකර ගැනීමට ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු මෙසේ පැවැසුවේ පුංචි බොරැල්ල, වජිරාස්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

