(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂනායක ධූරය සහ විපක්ෂයට හිමි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70 දෙනා හෙට (18) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (17) පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට පැවසීය.
විපක්ෂ නායකධූරය සඳහා විපක්ෂයට හිමි අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ගෙනයන වැඩපිළිවලේ එක් පියවරක් ලෙස මන්ත්‍රීවරුන් 70 දෙනා අද දිනයේදී කතානායකවරයා හමුවන බවද අලහප්පෙරුම මහතා කීවේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනෙකු හැර සෙසු මන්ත්‍රීවරුන් 13 දෙනාද ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වී ඇත.
තිලංග සුමතිපාල මහතා විදේශගතව සිටින බැවින් ඊට සහභාගී වී නැති අතර මංගල උත්සවයක් හේතුවෙන් තමා සහභාගී නොවන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය වෙත දැනුම් දී තිබිණී. දයාසිර ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සිටියද එම රැස්වීමට සහභාගී වී නැත.

