ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීමේ පළමු සාකච්ඡාව හෙට


නාලක සංජීව දහනායක

ඒකාබද්ධ පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා වන පළමු සාකච්ඡාව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (18) රාත‍්‍රී 7.00ට කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වේ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගිවන ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයකු පැවසීය.

 ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් , ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ , පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනීස්ට් පක්‍ෂයේ සභාපති රාජ කොල්ලූරේ සහ ප‍්‍රසන්න රණතුංග , රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සහභාගී වීමට නියමිතය.

එමෙන්ම මීට දෙසතියකට පෙර ඒකාබද්ධ විපක්‍ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් තිදෙනෙක්ද මේ සඳහා සහභාගිවන බවද එම ප‍්‍රකාශකයා පැවසීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිංගප්පුරුවේ සංචාරයක නිරතවන බැවින් මෙම සාකච්ඡාව සඳහා සහභාගි නොවේ.