ඒක මඩ පාරක්


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටිය දී (2008 -2008) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශක තනතුරක් දරමින් රජයේ මුදල් අයථා ලෙස වැටුප් හා දීමනා වශයෙන් ලබාගෙන මූල්‍ය විෂමාචාරයක් කළැයි කියන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළ විමර්ශනයකින් තහවුරු වීයැයි එහි කොමසාරිස්වරු කියති.

2015 අප්‍රේල් මස පළමු වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී රංජිත් සොයිසා, ජානක වක්කුඹුර සහ ඒ මොහාන් සිල්වා මහත්වරුන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය පවත්වා ඇත්තේ කොමසාරිස් සහ සභාපති ඩී ජේ ද එස් බාලපටබැඳි, කොමාසරිස් එල් කේ විමලචන්ද්‍ර සහ කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහත්වරුන් විසිනි.

විමර්ශන අවසන් කර එම චෝදනා අසත්‍ය බව තහවුරුකරගෙන ඒ බව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට දන්වා යවා ඇත්තේ අප්‍රේල් 28 වැනි දා ය.

කොමසාරිස්වරයකු වූ එල් කේ විමලචන්ද්‍ර මහතා පසුගිය දා කොමිසමෙන් ඉල්ලා අස් විය.