ඒ - 9 මගේ නීති කඩ කළ බස් රථ 30 කට එරෙහිව පියවර


(එෆ්.අස්ලම්)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් ඒ - 9 මාර්ගයේ සිදුකළ විශේෂ වැටලීමකට අනුව නීතිමය රෙගුලාසි වලට පටහැනිව ධාවනය වූ බස්රථ 30ක පමණ සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස හඳුනාගෙන ඇති නීතිමය රෙගුලාසිවලට එරෙහිව ධාවනය වූ බස් රථ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මගින් ගනු ඇතැයි ද එම කාර්යාලය සඳහන් කර සිටී.

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ඉල්ලීම පරිදි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (එන්ටීසී) ඒ 9 මාර්ගය ඔස්සේ ගමන් කරන යාපනය-කොළඹ සහ කොළඹ-යාපනය බස් රථ සිකුරාදා (9) රාත්‍රියේ සිට 10 වැනිදා අලුයම තෙක්  හදිසි  වැටලීමකට ලක් කළහ.

A-9 මාර්ගයේ සිදුවන අනතුරු පාලනය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා ගෙන යන විශේෂ වැඩපිළිවෙළට අනුව ක්‍රියාත්මක කළ මෙම වැටලීමේදී එම මාර්ගයේ ධාවනය වන  බස්‍ රථ 50ක් පමණ සෝදිසියට ලක් කළ බවත් ඒ අතරින් 60 % ක් පමණ නීතිමය රෙගුලාසි වලට අනුකූල නොවන බස් රථ පවතින බව තහවුරු විය.

එහිදී රියදුරු බලපත්‍ර කල් ඉකුත් වූ රියදුරන්, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් බලපත්‍ර නිකුත් නොකරන ලද බස්‍ රථ මෙන්ම රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා හැඳුනුම්පත් නොමැති බස් රථ ද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් හඳුනාගෙන තිබේ. 

උතුරු ප්‍රවාහන අධිකාරියේ සහය ඇතිව උතුරු පළාතේ අඛණ්ඩව මෙම පරීක්ෂණ සිදුකරන බවත්, බස්රථවලට නිසි බලපත්‍ර තිබේද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම වැටලීම සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සමගින් උතුරු ආණ්ඩුකාරවරයාගේ කාර්යසාධක බළකාය ද සම්බන්ධ විය.