තරිඳු ජයවර්ධන
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් පසුගිය ඔක්තෝබර් මාසය දක්වා පැමිණිලි 92ක විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් මේ වන විට නඩු පවරා ඇත්තේ පැමිණිලි 13ක් සම්බන්ධයෙන් බව පොලිසිය කියයි.
පොලිසිය මේ බව සඳහන් කරන්නේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ ඉල්ලීමට අනුව තොරතුරු එවමිනි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා ඊට ලැබී ඇති පැමිණිලි ගණන 336කි. එම කොට්ඨාසය එම පැමිණිලිවලින් 92ක විමර්ශන කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් ගොනු කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයේ එක් නඩුවක් ගොනු කර ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිලිවලින් බහුතරයක් 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ 1982 අංක 12 දරණ පොදු දේපොල පනත යටතේ ගැණෙන වැරදිවලට අදාල බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

