එල්.පී.එල් තරග පාවාදුන්නැයි කළමනාකරුවෙකුට වරෙන්තු


(රෝෂන් තුෂාර)

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට  බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන  දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක එස් බෝදරගම මහතා (21) නියෝග කළේය.

මුදලට තරඟ පවා දීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව  ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කළමනාකරුට අධිකරණය මගින් නොතිසි නිකුත් කර තිබුණද එසේ පෙනී සිට නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන්නැයි  කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට  බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි   බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ  සටහන් කර ගැනීම අවශ්‍ය බැවින් මෙම වරෙන්තුව නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුපුල් විධානගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට  අධි චෝදනා ගොනු කිරීමට  නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවය.

මූජීන් අල් රවුමාන්  කළමනාකරු ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමනාකරුගේ ප්‍රකාශ සටහන් කිරීම සිදු කළ යුතු බවත් පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කළමනාකරුට වරින්තූරු නිකුත් කිරීමට නියෝග  කරමින්  විමර්ශන ප්‍රගතිය  දෙසැම්බර් 5 දින දැනුම් දෙන ලෙසට  නියම කළේය .