එල්.පී.එල්. පළමු වටය කොළඹට එයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධානය කරන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

තරගාවලියේ අවසන් වටයේ තරග සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර තරගාවලිය ලබන දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති පළමු එල්.පී.එල්. තරගාවලියේ සියලුම තරග සූරියවැවදී පැවැත්විණි.

ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමු වටයේ තරග 11 පැවැත්වෙන අතර සූරියවැව ක්‍රීඩාංගණයේදී අවසන් වටයේ තරග හතර පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ‘කොවිඩ්’ තත්වයත් සමඟ තරගාවලිය කොළඹට රැගෙන ආ බවත් මෙවර තරගාවලිය සඳහා තරග කාලසටහන් පහක් පමණ සකස් කිරීමෙන් පසුව ආර්. ප්‍රේමදාස සහ සූරියවැව යන ක්‍රීඩාංගණ දෙකේ තරගාවලිය පැවැත්වීමට අවසානයේ තීරණය කළ බවත්ය.