එල්.ටී.ටීයට මිලියන දෙකක් දුන් අය ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතුයි - සරත් ෆොන්සේකා


වසර 2005 මැතිවරණය ජයගැනීමේ අරමුණ ඇතිව මහින්ද රජපක්ෂ මහතා එල්ටීටීයට මිලියන 2 ක් දුන් බවත් මේ නිසා රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී අදහස් දක්වමිනි.


වසර 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණෙද්දී මීතොටමුල්ල කුණු කන්දේ උස මීටර් 15 ක් වූ බවත් එය වත්මන් රජයට බාරදෙනවිට එහි උස මීටර් 45 ක් වූ බවත් ෆොන්සේකා මහතා පවසයි. වත්මන් රජය සමයේ මීතොටමුල්ල කුණු කන්දේ උස වැඩි වූයේ මීටර් 3කින් පමණක් බවද ඒ මහතා කීවේය. මීතොටමුල්ල කුණු කන්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කරුමයක් බවත් එය දැන් වත්මන් රජය පිට පැටවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මැයි දින රැළියේදී කීවේය.


“අපේ රටේ හිටියා පාලකයෙක්.ඔහු කම්කරු අමාත්‍යවරයෙක් වෙලා හිටියා.කම්කරු ඇමතිවෙලා ඉද්දි කම්කරුවන්ට පෙරළි පෙරළි පොරොන්දු දුන්නා“


“පස්සේ ඔහු පාලකයා වුණා.අවුරුදු 10 ක් පාලකයා වෙලා ඉඳලත් ඔහුට බැරි වුණා කම්කරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න.ඒ නිසා වත්මන් කම්කරු අමාත්‍යවරයාගෙනුත් මම ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ රජ කරන්නේ නැතිව කම්කරු ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න කියලා.ඔවුන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා“


“ආසියාවේ ආශ්චර්ය තිබුණත් ජනතාවගේ අතේ සල්ලි තිබුණේ නැහැ.අපි ජීවත් වුණේ ආශ්චර්ය තියෙන රටක.ආශ්චර්ය තිබුණ කාලේ අපිට ලැබුණ දෙයක් නැහැ. දුප්පතුන්ට තුන් වේල කන්න ලැබුණේ නැහැ.ආසියාවේ ආශ්චර්ය තිබුණ කාලේ අපි මේ ලෝකේ රටවල් 167කින් සතුටින් ඉන්න රටවල් තේරුවම අපිට ලැබුණේ 155 වැනි තැන.“


“ඒ කාලේ ආර්ථිකය කඩා වැටිලා තිබුණත් රාජපක්ෂ පවුල සැප ගත්තා.ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන් සේවය නිසා බිලියන 124ක් පාඩු වුණා.“


“දැන් බැඳුම්කර ගණුදෙනුව ගැන සමහර පිරිස් කතා කරනවා. බිලියන දහයක් පාඩු වුණාලු. කට්ටිය මේක කියන්නේ හරියට ලෝකේ කඩන් වැටුණා වගේ“


“යුද්ධයට හැමදේම ගත්තේ ණයට. රාජපක්ෂලා ජනතාව බඩගින්න තියලා සැප ගත්තා.“


“සයිටම් ගැන කතා කරනවා.සයිටම් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ.සයිටම් ගැන ආදරෙන් හිටිය එක්කෙනා දැන් තැන තැන කියනවා අපි සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියලා.“

 

 “වරාය නගරයක් හදන්න ගියා. අක්කර 100ක් චීන්නුන්ට දෙන්න හැදුවා. ගිවිසුම් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුමේ හැටියට ඒ අක්කර 100 උඩින් අපේ ගුවන් හමුදාවේ යානාවලටත් යන්නවත් බෑ. “


“හම්බන්තොට වරාය හදන්න කළින් ගාලු වරායේ ඉඳලා නාවික හමුදාවේ බෝට්ටුවක ගිහින් ඇවිත් මහින්ද කිව්වා ගාලු පාරේ බස් යනවා වගේ මුහුදේ නැව් යනවා කියලා. අපි හම්බන්තොට වරාය හැදුවනම් ඔක්කොම නැව් මෙහෙට එයි කියලා මහින්ද කිව්වා. අන්තිමට වුණේ මඩකරියෝ ගෙම්බෝ අල්ලන්න. මාළු අල්ලන්වත් සුදුසු නැහැ. හම්බන්තොට සුන්දරත්වය නැති කළා“


“රාජපක්ෂ නැවත නැගිටින්න හැදුවත් අපි 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂව කකුලෙන් අල්ලලා පොළොවේ ගැහුවා. දැන් ඒවා අමතක වෙලා.අපි ඊට කළින් ජීවත් වුණ හැටි හැමෝටම මතක ඇති. අපි දැන් පොලිසියට අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න දෙන්න බැහැ. රාජපක්ෂ නැවත ආවොත් අපිට ආයෙත් බයෙන් ඉන්න වෙනවා.“


“දැන් රාජපක්ෂ අහනවා සතුටුයිද කියලා. ඔව් අපිට සතුටුයි. ඒ කාලේ තිබ්බ බය දැන් නැහැ. අපේ සතුට ඉහෙන් කනෙන් බේරෙනවා. අපිට ඒ කාලේ කරපුව අමතක නැහැ. ආයේ දේශපාලනයට ආවේ පවුල බේරගන්නලු. එයා කියනවා පවුලෙන් පළිගන්න එපාලු. එයා අපේ පවුල්වලින් පළිගත්තේ නැහැනේ. අපේ දරුවන්ට ආදරෙන් සැලකුවා.“


“ආයේ එයාට ඔලුව උස්සන්න් දෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවට ඒ පවුලෙම කෙනෙක් සොයාගෙන. එයා තමයිලු මේ රටේ ඊළඟ නායකයා. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ ඉදන් ලංකාවට ආවේ. නැවතත් මේ රටේ ජනතාවට දුක් විඳින්න අප ඉඩ තියන්නෙ නැහැ.“


“රනිල් වික්‍රමසිංහ මහතා දිනලා තිබ්බ මැතිවරණය එල්ටීටීඊයට මිලියන දෙකක් දීලා ජයග්‍රහණය ක‍ළේ. පිටරටකින් ලැබුණ සල්ලි මල්ල පිටින් දීලා උතුරේ ඡන්දය වැළැක්වුවා. එල්ටීටීඊයට මිලියන දෙකක් දුන්න කෙනා අනිවාර්යයෙන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන. සුනාමි ආධාර නංගිගේ පොතේ දාගත්තා. 2009 දී අපි එපා කියද්දි පැය 48ක සටන් විරාමයක් දුන්නා. ත්‍රස්තවාදී නායකයින්ට පැනගන්න අවස්ථාව දීලා. ඒකෙන් අපේ රණවිරුවන්ට පසු බසින්න සිදු වුණා.“


“දේශප්‍රේමය කියලා පපුවට ගහගන්නවා. අපි දන්න තරමින් සත්තු වත්තේ ඉන්න චිම්පන්සියා තමයි පපුවට ගහගන්නේ. මහින්ද පපුවට ගහගන්න හැටි දැකලා චිම්පන්සියා පපුවට ගහගන්න එකත් නැව්ත්තුවා . මේ දේශප්‍රෙමයට ජනතාව රැවටෙන්නේ නැහැ. “යැයිද සරත් ෆොන්සේකා මහතා පැවසීය.