එයාර්බස් සමාගමේ වගකීම ගැන එරාන් කියයි


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට ගුවන් යානා විකිණීමේදී අදාළ සමාගමට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

කුඩා සේවයක් හා කුඩා ආර්ථිකයක් සහිත එමෙන්ම ප්‍රධාන පෙළේ මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා 8ක් විකිණීමේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ ආර්ථික නිදහස සමුළුවේ, සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් කොළඹ ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවැති ප්‍රධාන සැසියේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීවේය. 

එහිදි තවදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මම හිතනවා ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබුණා කියලා. කුඩා දළ දේශීය නිෂ්පාදිතයක් සහිත, කුඩා රටකට ඒ වගේම ජාත්‍යන්තර සමඟ තරග කරන කුඩා ගුවන් සේවයක් තිබෙන රටකට එම ගුවන් යානා විකිණීමේදී සමාගමටත් හිතන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වැඩි අවධානයක් යොමු කරන්න තිබුණා. ආර්ථිකයකදී ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපාර්ශවයටම වගකීමක් තිබෙනවා”. 

ගුවන් යානා හතරක ගනුදෙනු අවසාන කිරීමේදී ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්‘‘ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි ගුවන් යානා හතරේ ගනුදෙනු ද අවසන් කළ යුතුව තිබෙන බව ද කීවේය. 

ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට සුදුසු නැති බව ද රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි පෙන්වා දුන්නේය. 

මෙම ගැටලුව ආර්ථික හෝ මූල්‍ය හෝ ගැටලුවක් නොවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙය දේශපාලන ප්‍රශ්නයක් බව ද කීවේය. 

“දේශපාලන ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිතුරු. ඇතැම් විටෙක අපිට දේශපාලන තීරණ ද ගැනීමට” සිදුවෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීවේය.