
(තිළිණි ද සිල්වා )
ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි අභියාචනාධිකරණය අද (02) දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට දැනුම් දුන්නේය.
තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය ඊයේ මේ බව දැනුම් දෙන ලදී.
අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී .නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 9 වැනිදා සිදු කිරීමට ද අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ට සහාය පළකළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් පවත්වා තම සේවා දායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය
අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවය.
ඒ අනුව අදාළ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාව නිකුත් කරන ලෙසද ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊයේ දිනම පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ දේශනය ඉදිරිපත් කිරීම ලබන 09 වන දා තෙක් කල්තැබුණි.
මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන හෙයින් පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමෙන් වැලකී පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා ,කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරුවන් පසුගිය මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට සහයෝගය පළ කිරීම හේතුවෙන් තම පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ තීරණය බලරහිත කරන ලෙසද , එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල ගත් තීරණයට අනුව තම පක්ෂ සාමාජිකත්වය නෙරපීමේ නියෝග ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙසද ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.

