නිමල කොඩිතුවක්කු
ඒකාබද්ධ විපක්ෂය ඇතුලු පක්ෂ සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට එරෙහි දැවැන්ත සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී අද (24) පැවසීය.
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉදිරි ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ තුල ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේද කීවේය.
“අපේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා හමුවීම බොහෝ පුවත් පත් වල වාර්තා වුණා. විදේශ ගතවූ අනුර යාපා මන්ත්‍රීතුමා හැර අනෙකුත් මන්ත්‍රීවරුන් 15 දෙනාම මෙම හමුවට සහභාගී වුණා.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා අපිව බොහෝම උණුසුම් අයුරින් පිළගනු ලැබුවා. එතුමාගේ නිවසේ ආලින්දයේ සිට පැය තුනකට ආසන්න කාලයක් අපි මෙම සාකච්ඡාව ගෙන ගියා. වර්තමාන සහ අතීත දේශපාලන සිදුවීම් පිළිබඳව අපි බොහෝ දේ එහිදී කතා කළා. ඇත්තටම එම හමුවීම ඉතාම රසවත් වුණා.
අපේ ඊළඟ දේශපාලන ගමන් මග ගැන කථා කරන විට අපි එතුමාට අවධාරණය කර සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන යන වැඩ පිළිවෙළ ගැනයි. එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහලා යන වැඩ පිළිවෙළ නවත්වන්න ඊළඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසන්විධාන වැඩ පිළිවෙළ තුල කටයුතු කරනවා කියන කාරණාවත් අපි අවධාරණය කළා.
මේ රටට හරියන්න ඕනනම් රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් යන්න ඕන, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හරියන්න ඕන නම් දුමින්ද දිසානායක මහතා ලේකම් කමින් යන්න ඕන කියන කාරණාව මීට අවුරුද්දක පමණ කාලයක සිට මම දිගින් දිගටම කියපු දෙයක්.
ඒ නිසා මේ ප්‍රතිසංවිදාන වැඩ පිළිවෙළ තුළ පක්ෂය උඩු යටිකුරු කරන ප්‍රතිසංවිධානයක් සිදු කරගෙන යන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනවා .
මේ ප්‍රතිසංවිධානයත් සමඟ පක්ෂයෙන් ඈත් වෙච්ච උදවිය එයට සම්බන්ධ කරගෙන පක්ෂය ශක්තිමත් කරගතතොත් අනාගතයේදි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගොඩ නැගෙන ඒ මහා බලවේගය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සක්‍රීය වැඩපිළිවලක් එක්ක කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා.
ඒකාබද්ධ විපක්ෂය තුල පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ අය පසුගිය මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් සහයෝගය දුන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. මේ සියලු දෙනා සමඟ එකතු වී අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දැවැන්ත සන්ධානයක් ගොඩනගනවා.‘‘