එජාප පළාත් පාලන නියෝජිතයෝ 38 දෙනාගේ ඉරණම මැයි 21 විසැඳේ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන මැයි 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද ( 28) තීන්දු කළේය.

එසේම එම පළාත් පාලන මන්ත්‍රීවරුන් ගොනු කළ මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිලිබද නියෝගයද එදිනට ප්‍රකාශයට පත් කිරීමටද අභියාචනාධිකරණය තීරණය කෙරිණි.

තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය අද මේ බව දැනුම් දෙන ලදී.

අභියාචනාධිකරණ සභාපති අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.