එජාප නායකත්වයට ගම්පහින් රුවන් ඉල්ලයි



(තිලකරත්න දිසානායක)

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කර, 2025දී රාජ්‍ය බලය ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව බියගම ප්‍රාදේශීය මභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද(2) ගම්පහදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී   ප්‍රසන්න සම්පත් මහතා මේ බව සඳහන් කළේය.

"එක්සත් ජාතික පක්ෂයට මෙය ඉතාම වැදගත් මොහොතක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ 1946 වර්ෂයේදී අරඹන ලද පක්ෂයක්. මේ පක්ෂය 74 වන සංවත්සරය සමරන මොහොත වන විට පසුගිය මැතිවරණයේදී විශාල අර්බුදයක්ට මුහුණ දුන්නා. මේ අර්බුද අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කරන්න, ප්‍රාදේශීය වශයෙන් ජනතාව ඇවිල්ලා ගම් මට්ටමින් ඉල්ලීමක් කරනවා පක්ෂය ගොඩනැගීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි කියලා.  අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදය වශයෙන් අපට තරුණ නායකයෙක් අවශ්‍ය වන බව.

මේ පක්ෂයට ගරුත්වයක් ලබා දෙන, තරුණයන්ගේ හඬට සවන් දෙන, අපේ පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු දක්ෂ නායකයත්වයක් තමයි මේ රටේ තරුණ පරපුර ඉල්ලා සිටින්නේ. එවන් චරිතයක් තමා රුවන් විජයවර්ධන මහතා කියන්නේ. රුවන් විජයවර්ධන මහතා දේශපාලන ක්ෂේත්‍රයේ, අපේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යභාරයක් කරන ඉතා දක්ෂ මෙන්ම කිසිවෙකුටත් එපා නොවූ චරිතයක්. 

අපි තීන්දුවක් ගත්තා ගම්පහ දිස්ත්‍රික්කය වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය වශයෙන් සාකච්ඡා පවත්වලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සැමගෙන් මේ පක්ෂයේ නායකත්වය තෝරන මේ අවස්ථාවේ තාවකාලික පැලැස්තර විසඳුමක් නොමැතිව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස. නැතිනම් වසර දෙක තුනකදී යළිත් ප්‍රශ්න ගැටලු ඇති විය හැකියි.

අපි කියා සිටින්නේ මීළඟ දශකය තුළ මේ පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍ය බවයි. දැනට අප පක්ෂය තුළ ප්‍රබලම තරුණ පිරිස අතර සිටින ප්‍රබලම චරිතය තමයි රුවන් විජයවර්ධන කියන්නේ.  අපේ රටේ තරුණයින් ඒ මහතාව ඉල්ලා සිටිනවා. මල්වතු අස්ගිරි මහ නායකවහන්සේලා මෙතුමා ගැන කතා කරනවා. මෙතුමා අපේ රටේ හොඳ බෞද්ධ නායකයෙක්. කැලණි විහාරස්ථානයට විශාල කාර්යභාරයක් කළ පරම්පරාවක තරුණ නායකයෙක්. අපි විශේයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, ඔබතුමන්ලා මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ. පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු නායකයෝ. මේ වගේ පරිණත නායකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ තවත් කල් නොයවා පක්ෂයේ නායකත්වය රුවන් විජයවර්ධන මහතාට ලබා දෙන ලෙසයි. රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි" යැයිද බියගම ප්‍රාදේශීය මභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසීය.