(අනීෂා මානගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා පිළිගත නොහැකි යැයි හෝ තම පක්ෂයට බලයක් නැහැ, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කීවොත් තම පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ අද (12) අඟුණුකොළපෑළැස්ස ප්‍රදේශයේ දී පැවැති පාක්ෂික හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේ ද පැවසීය.
"අපි ජනාධිපතිවරණයකට සූදානම්. අපි ඉදිරිපත් කරන යෝජනා යම් ආකාරයකට පිළිගන්නට බැහැ, පැත්තකට වෙන්න කියලා කිව්වොත් අපි තරග කිරීමේ ඉඩකඩක් තිබෙනවා. නමුත් එහෙම අවශ්‍යතාවක් ඇතිවේවි යැයි මම සිතන්නේ නැහැ. කවුරුහරි කියනවා නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් නැහැ. පදනමක් නැහැ කියනවා නම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ තීන්දුවකට නොයාවි යැයි සිතන්නට හොඳ නැහැ. දැනට අපේ එහෙම අදහසක් නැහැ. අපි සිතනවා සාධනීයව මෙම සාකච්ඡා අවසන් කරගත හැකි වේවි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවමත් තීරණයක් අරගෙන නැහැ. වෙනම අපේක්ෂකයෙක් නම් කරන්න. නම් කළ අපේක්ෂකයෙක් ඉන්නවා. අපි ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිළුල සාර්ථක කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් රට ගොඩනගන වැඩපිළිවෙළ පිළිබඳව අපේ තිබෙන යෝජනා පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙක් දිහායි අපේ වැඩි අවධානයක් තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව කියා ලොකු ගැටළුවක් ඇතිවේවි යැයි මම සිතන්නේ නැහැ. රටේ මේ තිබෙන අරාජික තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් නායකයෙක් ගැන අපි අවධානය යොමු කරනවා. අපි මේ ගැනත් සාකච්ඡා කරනවා. ඉදිරියේ දී මේ සාකච්ඡා සුභවාදීව අවසන් කරලා එකඟතාවකට එන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වරදක් අපි දකින්නේ නැහැ. නමුත් අපිට ඔහුත් සමඟ කතා කළ යුතු දේවල් තිබෙනවා. එකඟතාව ඇති කළ ගත යුතු දේවල් තිබෙනවා. වංචාව දූෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළවල් සහ රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළවල් සහ විදේශ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරලයි අපි එකඟතාවකට එන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ ආරවුලක් පේනවා. ඉදිරිපත් වන අපේක්ෂකයා අපිට වැදගත් නැහැ. මොකද අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මැතිවරණක් තරග කරන්න අදහස් නොකරන නිසා. අපි කියන්නේ නැහැ ඔක්කොම අය එක තැනකට එකතුවෙයි කියලා. විවිධ අදහස් විවිධ මත තිබෙන අය සිටිනවා. මොන පැත්තට ගියත් අනිත් පැත්තට යන්න අය නැහැ කියලා මට කියන්න බැහැ. නමුත් උපරිම ප්‍රමාණයක් එකම මතයකට ගේන්නයි අපි උත්සාහ කරන්නේ. මන්ත්‍රීවරු විදියට නෙවෙයි පක්ෂය විදියටයි අපි එකතුවිය යුත්තේ" යැයි ද කීවේය.


