එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් මසුන් රැසක් වඳ වෙලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල්  නැවේ විනාශයෙන් මෙරට මුහුදේ ආවේණික විසිතුරු මසුන් විශේෂ රැසක්  සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති බවට  පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවී ඇතැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම  මහතා පැවසීය.

එසේම නැවේ විෂ  අපද්‍රව්‍ය හේතුවෙන්  විසිතුරු මසුන්ගේ වර්ණ විවිධත්වයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව එම කර්මාන්තයේ නියුතු වුවන් පැමිණිලි කරන  බව එම කාරක සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කළ යුතුව ඇති හෙයින්  ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලා සිටින ලෙස කාරක සභාව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට  නිර්දේශ කළේය.

අමාත්‍යාංශ ලේකම්වරයා ඊට එකඟතාව ප්‍රකාශ කර ඇත.