එක්සත් ජාතීන්ගේ මහලේකම් ශෝකය පළකරයි


පාස්කු ඉරිදා දිනයේදී කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ පිරිසට ශෝකය සහ කනගාටුව පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ඇමෙරිකා නිව්යෝක් නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණ එහි තිබෙන විශේෂ සටහන් පොතේ සටහනක් ලියා තැබුවේය. 
 

 ඉකුත් 21 වැනිදා එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 360කට ආසන්න පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
 
 ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට පැමිණි මහලේකම්වරයා එහි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතාට ද සිය කනගාටුව පළ කළේය.
 
 එහිදි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා මෙසේ ද කීය.
 
 “ලෝකය අවදියෙන් සිටිය යුතුයි. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙවැනි ප්‍රහාර සිදුවෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ අපූරු රටක්. ඒ රටේ ජනතාවටත් ආණ්ඩුවටත් මම මගේ කනගාටුව සහ ශෝකය පළ කරනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහ එරට ජනතාවට පූර්ණ සහයෝගය ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ උදාර බව සහ නිර්ලෝභී බව මම හොඳින් දන්නවා. මම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එය අත්වින්ඳා. විපතට පත්වූවන්ට ඔවුන්ගේ පවුල්වලට සහ එම ප්‍රජාවල වෙනුවෙන් මම යාඥා කරනවා” යනුවෙනි.  
 
පසුගිය ඉරිදා සිදු වූ ඛේදවාචකය සිහිපත් කරමින් විශේෂ බහු ආගමික සැමරුමක් නිත්‍ය නියෝජිත කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (24) පස්වරු 6 ට පැවැත්විණි. 
 
 (055)