එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ



(විනීතා එම් ගමගේ)


ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සිටිය යුතු නමුත් වසර 12 ක් තිස්සේ එහි සිටින්නේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණකැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. 

එමෙන්ම ප‍්‍රධාන කාර්යාලයේ සිටින විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසර 05 ක කාලය තුළ විදේශ ගමන් 80 ක් ගොස් ඇති අතර ශාඛාවන්හි සේවය කරන කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙකුට එම කාලය තුළ විදේශ ගමන් හිමිව නැතැයි එම වෛද්‍යවරු පවසති. 

මේ හේතුව මත තාක්ෂණික ඇගයුම් කමිටු ඇතුළු තීන්දු තීරණ ගන්නා බොහෝ ස්ථානවල දී ඒකාධිකාරි තත්ත්වයක් මතුවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 


රුධිර පාරවිලයන කටයුතුවල දී තාක්ෂණය, උපකරණ හා සේවාවන් පිළිබඳව ඇගැයීම් කර නිිර්දේශ කරනු ලැබිය යුත්තේ මෙම  ප‍්‍රධාන කාර්යාලයේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. 

 

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රට පුරා ඇති ශාඛා 107 ආවරණය වන පරිදි විශේෂඥ වෛද්‍යවරු 29 ක් සිටින අතර ප‍්‍රධාන කාර්යාලයේ පමණක් මෙසේ ඇබෑර්තු ඇතැයි පැවැසේ.

 

මේ පිළිබඳව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් ලංකාදීප කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ඇබෑර්තු ඇති බව සැබෑවක් බවය. 

 

තමන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස පැමිණ ගතවී ඇත්තේ මාස 6 ක් වැනි සුළු කාලයක් බවත්, ආයතනයේ ඇති ඒකාධිකාරයන් මෙන්ම ආයතනයේ එහි ඇති යම් යම් තත්ත්වයන් පිළිබඳව සොයා  බැලීම  සඳහා විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන් ඉල්ලීමක් කළ  බව ද හෙතෙම කියා සිටියේය.