එක හීනයක් ඉටුවුණාම හොඳටම ඇති


 

ඔබ නිතරම දකින්න නැහැ. මේ දිනවල හමුවන්නෙත් ‘‘රනා’’ නාට්‍යයේ ස්වේතා චරිතයෙන් පමණයි.
පේ‍්‍රක්‍ෂකයින් වැඩියෙන්ම පිළිගන්නා නාට්‍යයක රඟපෑවාම ප‍්‍රමාණවත් හොඳ රංගනයක් ඉදිරිපත් කළාම අප ඇගයීමට ලක්වෙනවා.


 ඇයි ඔබ එකවර නාට්‍ය රැසක චරිත බාර නොගන්නෙ?
එකවර චරිත ගොඩාක් බාර ගන්නවාට වඩා කරන එක චරිතයට ගොඩාක් කැපවෙන්න මම කැමතියි. හැමදාම රඟපෑම තෝරාගන්නේ ඒ විදියටයි.

 


ලංකාවේ ජනප‍්‍රියම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ලෝකයේ දුර්ලභම බල්ලන් ඇති කරනවා කියලා ආරංචියක් තියෙනවා. එය ඇත්තද?
ඇත්තටම මේ දුර්ලභ ගණයේ සුරතල් සතා මගේම නෙවෙයි. මම ඒ සතාට ආදරය නිසා ලැබුණේ වෙනත් විදියකටයි. ඉතින් මම එයාව ආදරයෙන්
රැකබලා ගන්නවා. එයාගේ නම ‘ක්ලියෝ’.

 


දැන් ඔබ යන යන තැන මෙයා ගෙන යනවා කියන්නෙ?
මෙයාව හදන්නම  ඕනෑ කියන අදහස තිබුණෙ නැහැ. ඒත් දැන් මෙයා නැතුව බැහැ වගෙයි. හරි හුරතල්. මම නැතිව එයාට සාංකාව වගෙයි. ඉතින් මෙයාවත් හොඳට ස්ටයිල් එකට අන්දවගෙන වෙනමම මල්ලක දාගෙන යන යන තැන අරගෙන යනවා. චිහිවාහුවා කියන ලෝකයේ සිටින කුඩාම සුනඛ වර්ගය මෙයයි.

 


ආශා ඔබේ නමට පසුගියදා හිමිවුණු ‘‘ජනප‍්‍රිය’’ කියන ලේබලය එක්ක ඔබට ලැබුණු දේවල් මොනවාද? ජනපි‍්‍රයවීම නිසා එහෙම දේවල් වෙනවද?
ඇත්තටම ඔව්. විවිධ නිර්මාණවලට බොහෝ ආරාධනා ලැබීම ඒ අතරින් ප‍්‍රමුඛයි. නමුත් මගේම නිර්මාණ නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒ නිසා එහි වැඩ කටයුතු එක්ක සීමිත කොටසකට තමයි සම්බන්ධ වෙන්නෙ. ‘‘ඇඞ්ෆිනිටි’’ එහි නමයි.

 


‘‘හීන හතක්’’ සංගීත වැඩසටහන මෙහෙයවීමට රොෂාන් ප‍්‍රනාන්දු සමග ඔබ එකතුවෙනවා. හීන හතක් ගෙනඑන ඔබට තියෙන හීන මොනවාද?
හීනයක් තියෙනවා. හැබැයි එය එකපාරට සැබෑ නොවන හීනයක් වේවි. කවදාහරි දවසක හොඳ නිර්මාණ කිරීම තමයි ඒ හීනය. ඒ වෙනුවෙන් තමයි අද දවසේ සෑම තත්පරයක්ම ගතවන්නේ. අත්දැකීම් එක්ක ඒ හීනය යථාර්ථයක් කර ගන්න මම ආසයි.

 


ඔබගේ ජීවිතයේ ඉටුකර ගන්න හීන හතක් තිබේනම් කොහොමද ඒවා පෙළගස්වන්නෙ.
ඇත්තටම පුද්ගලික ජීවිතේ මට ගොඩාක් හීන නැහැ. ප‍්‍රධාන හීනය ගැන තමයි මුලින්ම කිව්වේ. ඒ වටා තමයි අනෙක් හීන ගොනුවෙලා තියෙන්නේ. ඇත්තටම මට ඉටුකර ගන්න හීන හතක්  ඕනෑ නැහැ. එක හීනයක් තිබුණාම ඇති.

 


ජනපි‍්‍රය කියන චරිත එනවා - යනවා ඒත් හැමදාටම ජනපි‍්‍රයත්වය තබා ගන්න නම් මොනවගේ දෙයක් කළ යුතුයි කියලද හිතන්නේ.
වී වැපුරුවොත් ලැබෙන්නෙ වී නේ. තල වැපුරුවොත් තල කියලා කතාවක් තියෙනවානෙ. සියල්ල සිද්ධ වන්නේ ඒ විදියටයි. මිනිසුන්ට දැනෙන දේ කළොත් පවතීවි. වත්මන් පේ‍්‍රක්ෂකයින් මෝඩ නැහැ. ඒ නිසා ඔවුන්ව අන්දවන්න බැහැ. යහපත් දේට ඔවුන් ගෞරව දක්වනවා.

 


ස්වේතා (රනා) ගැන කතා කොළොත්?
ස්වේතා ඉහළ පැලැන්තියේ පවුලක චරිතයක්. නමුත් පොළවේ පයගහලා සිටින චරිතයක්. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන තරුණියක්. දුර්ලභ ගණයේ අසනීපයකින් පෙලෙන ඇය ජීවිතයේ නැගී සිටින්න උත්සාහ ගන්නවා. ඇයට ඇයගේ අම්මගෙන් ලැබෙන ශක්තිය ඉහළයි. මරණය පරදා ජීවිතය ජයගන්න උත්සාහ ගන්න කාන්තාවක්.

 


‘‘ජනපි‍්‍රය’’ ලේබලය මුලට දාගෙන අද බොහෝදෙනා දේශපාලනයටත් එනවා. ආශා ඔබට එවැනි අදහසක් නැද්ද?
අපෝ මම නම් දේශපාලනය ගැන කතා කරන්නත් කැමති නැහැ.