ඌව මහ ඇමැතිත් ගුරුවරියක් දණ ගස්සලා


(විනීතා එම් ගමගේ)

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර වැඳ සමාව ගන්නා ලෙස බල කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ඌව  පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලන  හිතවතකුගේ දියණිය එම  පාසලට ගන්නැයි ප‍්‍රධාන අමාත්‍යවරයාගේ  ලිපියක් රැගෙන ආ තැනැත්තකුට තමන් දේශපාලන නියෝග ක‍්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින්නේ යැයි විදුහල්පතිනිය පැවැසීම නිසා මෙසේ ගෙන්වා දැරිය පාසලට ගන්නා ලෙස  බල කර වන්දවාගෙන සමාව ගෙන ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

මෙම ප‍්‍රධාන අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසා ඇතැයිද මෙම බලහත්කාරී හා හිංසනකාරි ක‍්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.

වහාම මේ සිද්ධීය පිළිබඳ පරික්ෂණයක් ආරම්භ නොකළහොත් සියලු පාසල් ගුරුවරු වෘත්තිය කි‍්‍රයාමාර්ගයකට යන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා ලංකාදීපයට පැවැසීය.

ඌව  පළාත් ප‍්‍රධෘන අමාත්‍යවරයාගේ මෙම නොමනා හැසිරීම පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට, ඌව පළාත් ආණ්ඩුකාරවරයාට සහ ශ්‍රී ලංකා මානම හිමිකම් කොමිසමට පැමිණිලි  කළ බව ද හෙතෙම සඳහන් කළේය.