ඌව මහ ඇමැති දෙලොවක් අතර


බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සහභාගී වීම අවිනිශ්චිත බව ඒ මහතාගේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ.

මේ ගැන විමසීමට මහඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇති නිසා අද රාත්‍රී 11 පමණ වනතුරු මහඇමැතිවරයා සම්බන්ධ කිරීමට නොහැකි බව දුරකතනයට ප්‍රතිචාර දැක්වූ තැනැත්තා පැවසීය.

මහ ඇමැතිවරයා හෙට මහියංගනයේ සහ තවත් ස්ථානයක පැවැත්වෙන රැස්වීමට යන බව ප්‍රකාශ කළ මුත් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට යන බවත් ගැන නොදන්නා බව එම ප්‍රකාශකයා කීවේය. මහ ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥවරයකු කොමිසමට යවන බව ඔහුගේ පාර්ශ්වයේ තවත් පුද්ගලයෙක් පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියනුයේ ඔහු නොපැමිණෙන බවට කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු අනිවාර්යෙන් කැඳවීමේ ලිපිය යොමු කර ඇති බවයි.  හෙට උදේ 9.30ට මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස ඔහුගේ නමට සිතාසි යොමු කර ඇති බැවින් මහ ඇමැතිවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙන් පැවසීය.