(එෆ්.අස්ලම්)
ඌව පළාතේ සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරත වෛද්‍යවරුන් හෙට (03) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව සඳහන් කරයි.
දෙමෝදර රෝහල මැදින් මාර්ගයක් කැපීමට ඉඩ නොදීමේ හේතුව මත ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සහ දෙමෝදර රෝහලේ බලධාරීන් සිය කාර්යාලයට කැඳවා බැණ වැදීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.
මෙම මාර්ගය පිළිබඳ අධිකරණයේ නඩු කටයුත්තක් පැවතියදී ඌව මහ ඇමතිවරයා රෝහල මැදින් මාර්ගය ඉදිකිරීමට තැත්කර ඇති බවත් ඊට වෛද්‍යවරුන් විරෝධය පළකිරීම හේතුවෙන් අමාත්‍යවරයා මත පසුගියදා 25 වනදා සිය ආධාරකරුවන් යොදවා රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ නිල නිවසට පහරදී ඇති බවත් 28 වැනිදා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මිය සහ රෝහල් බලධාරීන් සිය නිල නිවසට කැඳවා තර්ජනාත්මකව බැණවැදී ඇති බවත් හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් මහ ඇමතිවරයාට ප්‍රසිද්ධියේ සමාවගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මහ ඇමතිවරයා සමාවගැනීම ප්‍රතික්ෂේප කර සිටි හෙයින් ඔහු සමාව ඉල්ලන තාක් හෙට(3)සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ඌව පළාතේ රජයේ රෝහල්වල සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට අනියුක්තව සේවය කරන වෛද්‍යවරුන් 700ක් පමණ වර්ජනයේ නිරතවන බවත් වෛද්‍යවරුන් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද වසා දමා එම රාජකාරීවලින් ඉවත්වනු ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

