ඌව පළාත් සභා මන්ත්‍රීන්ට රුසියානු සංචාරයක්


බිඟුන් මේනක ගමගේ

 

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට රුසියාවේ චාරිකාවක් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින්නේ යැයි එහි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එවැනි චාරිකාවක් ගැන යෝජනාවක් සිදුව ඇතැයි ද ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය යන තේමාව යටතේ එය සාකච්ඡාවට ලක්ව ඇතැයි ද කීවේය.

 

ඌව පළාත කෘෂිකාර්මික පළාතක් වුවද එය කර්මාන්තයක් වශයෙන් ප්‍රමාණවත් දියුණුවක් ලබා නොතිබීම නිසා කෘෂිකාර්මික සංවර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ අරමුණෙන් මෙවැනි චාරිකාවක් යෝජනවා වී ඇතැයි කීවේය.

 

එහෙත් ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම සංචාරය ගැන තමා කිසිවක්ම නොදන්නා බවයි.

 

පළාත් සභාවල මන්ත්‍රීවරුන් අධ්‍යාපන චාරිකාවල මුවාවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරන බවට ජනාධිපතිවරයා චෝදනා කළ අතර ඒ අනුව ඔවුන්ගේ විදෙස් ගමන් බිමන් සඳහා ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට කැබිනට් යෝජනාවක් ද සම්මත කෙරිණි.

 

මීට පෙර මධ්‍යම පළාත් සභාව ද රුසියානු සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 650ක මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කළ අතර ඊට එල්ල වූ දැඩි විවේචන හමුවේ එම මුදල රුපියල් ලක්ෂ 450 දක්වා කප්පාදු කිරීමට එහි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කළාය.