කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩුවකින් 17 හැවිරිදි තරුණයකු මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියෙන් විසඳිය හැකි සිද්ධි උසාවිය දක්වා ගෙන ඒම ගැන පොලිසිය දොස් තැබීය.
අඟහිඟකම් නිසා කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවයට ගිය තරුණයා බැලීමට ඔහුගේ සහෝදරයකු ගොස් ඇති බවත්, සහෝදරයාට සංග්‍රහ කිරීමට ආහාර නැති තැන වෙළෙඳ සලේ විකිණීමට තිබූ රෝල් දෙකක්, කේක් කැබැල්ලක් සහ බීම බෝතලයක් දී ඇති බවත්, එය තම වැටුපෙන් අඩු කර ගන්නා ලෙස තරුණයා ඉල්ලුවත් රුපියල් 840ක ආහාර සොරකම් කළා යැයි නඩු පැවරූ බවත්, සති දෙකක් වෙළෙඳ සලේ සේවය කළ දරුවාට වැටුප් නොදී සේවයෙන් නෙරපා ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
රටේ මීට වඩා අපරාධ සිදු වෙද්දී පොලිසියෙන් විසඳිය හැකි සුළු සිද්ධියක් අධිකරණයට ගෙන ඒම ගැන පොලිසියට දොස් නැගූ මහේස්ත්‍රාත්වරයා එම තරුණයා වෙළෙඳ සලේ සේවය කළ කාලයට අදාළ වැටුප ගෙවන ලෙස ද නියෝග කළේය.

