උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති


(ජයන්ත සමරකෝන්)

පොලිස් නිලධාරීන් 33000 ක් පමණ වසර 10කට අධික කාලයක් තිස්සේ උසස්වීම් නොලැබ එම තනතුරේ රැඳී සිටින බව පොලිස් පොඩ්ඩෝ පවසති.

මෙම පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවට පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් උසස් පොලිස් නිලධාරීන් ඒ සඳහා කිසිඳු පියවරක් ගෙන නොමැති බවට එම පොලිස් පොඩ්ඩෝ චෝදනා කරති.

පොලිස් කොස්තාපල් තනතුරේ වසර 10 කට අධික කාලයක් රැඳී සිටින 18000 ක් ද පොලිස් සැරයන් තනතුරේ වසර 10 කට අධික කාලයක් තිස්සේ රැඳී සිටින 3700 ක්ද වසර 10 කට අධික කාලයක් රැඳී සිටින උප පොලිස් පරීක්ෂකවරුන් 1998 ක්ද වසර 10 කට අධික කාලයක් තිස්සේ එකම තනතුරේ සිටින පොලිස් පරීක්ෂකවරුන් පිරිසක්ද මේ අතර වන බවට පොලිස් පොඩ්ඩෝ පෙන්වා දෙති.

මෙම අසාධාරණයට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමෙන් වැටුප් වර්ධක ලෙස මාසිකව රැපියල් ලක්ෂ 84 ක් ගෙවීමට සිදුවන බවද උසස් පොලිස් නිලධාරීන් පෙන්වා දුන්නද මෙම නිලධාරීන් සිදුකරන වැටලීම් වලින් පමණක් ඉකුත් වසරේදී රජයට උපයාදී ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 1490 ක් බවද පොලිස් පොඩ්ඩෝ සඳහන් කරති.