උසස්පෙළ හොරට ලියු සිසුවකුගේ රට යන්න ඉල්ලු අවසරය ප්‍රතික්ෂේප වෙයි


(ටෝනි කරුණානායක)


නවීණ තාක්ෂණ මෙවලම් උපයෝගී කරගෙන 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනා සම්බන්ධයෙන් ඇපමත සිටින කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබු සැකකාර සිසුවා විදේශ ගතවීමට කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය.


එම නඩුවේ සැකකරුවන්ට විදේශගත වීම තහනම එක් ඇප කොන්දේසියකි. 


පාසැල් සිසුවා සහ ඔහුගේ පියාවන සේනාධි ඉන්ද්‍රජිත් බංගමුආරච්චි යන සැකකරුවන් දෙදෙනා නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා මගින් මෝසමක් ඉදිරිපත් කර එම නඩුව අධිකරණය හමුවේ කැඳවන ලෙසට ඉල්ලිමක් කර තිබුණි.


ඒ අනුව අද (18) එම නඩුව කැඳවු අවස්ථාවේ විමර්ශන අවසන් නොමැති හෙයින් විදේශ ගතවීමේ තහනම ඉවත් කිරීමට කරන ඉල්ලීමට විරෝධය දක්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි  නිලධාරින් කරුණු දැක්විමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.නඩුව නැවත අගෝස්තු 09වැනිදා කැදවීමට නියමිතය.