උසස්පෙළ උපකාරක පන්ති-සම්මන්ත්‍රණ 31 මැදියම් රැයින් අවසන්


(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2018 විභාග අපේක්ෂකයන් සඳහා වන උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම එම පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ  දේශනා, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්නපත්‍ර බෙදාදීම, මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට පෝසටර් බැනර් අත්පත්‍රිකා ආදිය ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් හෝ එම නියෝග නොසලකා කටයුතු කළහොත් එම තැනැත්තා හෝ ආයතනය හෝ ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවකු වේ.

උසස්පෙළ විභාගය අගෝස්තු 06 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වේ.