උසස් පෙළ සිසුවා වෙඩි තබා ගෙන මැරිලා


(සුරංග රාජනායක)

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ ඉගෙන ගත් අයකි.

මෙම සිසුවා සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මව පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.

මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වී තිබේ. නියමිත කාලයට  වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.

සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද එසේම විභාගය පිළිබඳව සිතා සිටිමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද පොලිසිය සැක පල කරයි.

ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිව තිබුණි.

.