උසස් පෙළ පන්ති ජූලියේදී ඇරඹෙයි


(විනීතා එම් ගමගේ)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමුවැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇතැයිද කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට  ඉඩ ඇති බැවින් ඊට වි‍ශේෂ විධිවිධාන සකසා ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ දූ දරුවන්ගේ වටිනා තරුණකාලය අපතේ නොයැවීම තමන්ගේ ප්‍රධාන අරමුණ බව ද සඳහන් කළේය.

අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගැනීමට හැකි වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ පැමිණෙන සියලු‍ අභියෝගයන්ට මුහුණ දීමට රජය සුදානමින් සිටින්නේ යැයි ද කියා සිටියේය. 

මාර්තු 01 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305 ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513 ක එය පැවැත්වීමට නියමිත බවත් පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ද සූදානම්කොට ඇතැයි පීරිස් මහතා කීය.

ඒ සම්බන්ධව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතුන් සමඟ සාකච්ඡා කර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ වනවිටත් සියලු‍ ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කර ඇති බවත් පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියට ගොස් ඒ ප්‍රවේශපත්‍ර බාගත කර ගත හැකි යයිද හෙතෙම පැවැසීය.