උසස් පෙළ ජනමාධ්‍ය නව විෂය නිර්දේශය අත්හිටුවයි


තරිඳු ජයවර්ධන
 
ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල  නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු බවත්, ලබන වසරේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් විෂය නිර්දේශයක් සකස් කරන බවත් මේ ගැන කළ විමසීමකදී අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
 
මීට පෙර පැවැති විෂය නිර්දේශය වෙනස් කරමින් සකස් කළ අලුත් විෂය නිර්දේශය ගැන පසුගිය මාසයේ ගුරු පුහුණු සැසි පවත්වද්දී ඊට දැඩි විරෝධයක් එල්ල විය. අලුත් විෂය නිර්දේශයෙන් පැරණි විෂය නිර්දේශයේ වැඩි කොටසක් වෙනස් කර ඇති බවත්, සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බැවින් නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු පැන නැගෙන බවත් ගුරුවරු කීහ.
 
නව විෂය නිර්දේශය සකස් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු විසින් බැවින් එය ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණු අතර ගුරු පුහුණු සැසියකදී ඊට සහභාගී වූ ගුරුවරුන් සියලු දෙනා විරෝධය දක්වමින් නැගිට ගොස් තිබිණි.
 
නව විෂය නිර්දේශය අත්හිටුවන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බැලූ ජාතික අධ්‍යාපන ආයතනය ඒ බව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දුන් බවත්, ඒ අනුව එම නිර්දේශය අත්හිටුවීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.