උපාධිධාරීන්ට පත්වීම් දෙන්න රජය නීතිපති උපදෙස් පතයි


අංජුල මහික වීරරත්න 
 
උපාධිධාරීන්ට පත්වීම්දීමට පවතින නෛතික බධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
 
රජය ඉහත දැනුම්දීම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. 
 
උපාධිධාරීන් 5000කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් කෙරුණි. පත්වීම් ප්‍රදානය කිරීමට තොරාගත් උපාධිධාරීන් අතර රජයේ විශ්ව විද්‍යාලවලින් බාහිර උපාධිය ලැබූ උපාධිධාරීන්ද සිටීම අමාත්‍ය මණ්ඩලය අදාල පියවර ගැනීමට හේතු විය.
 
විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමඟ බාහිර උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ විධිවිධාන කැබිනට් සංදේශයට ඇතුළත් කර තිබු හෙයින් එයට ඇතැම් අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ගේ එකඟත්වය පළ නොවීය. ඉහත පසුබිම් යටතේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට  හා බාහිර උපාධිධාරීන්ට පත්වීම් දීමට අදාළව මීට පෙර ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සටහන්  අධ්‍යයනය කිරීමට  නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
 
සියලුම උපාධිධාරීන්ට පත්වීම්දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන බැවින් විශ්ව විද්‍යාල හා බාහිර උපාධිධාරීන් 5000 කගේ පත්වීම් සම්බන්ධයෙන් පවතින නෛතික බධාව වහාම දැනුම් දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දුන් උපදෙස්වල සඳහන්වේ.