උප්පුවේලි සංචාරක බංගලාවට 346,000ක පොල්ලක්


(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය, උප්පුවේලි පිහිටි සංචාරක බංගලා සංකීර්ණයේ කාමරයක් භාවිතකිරීම වෙනුවෙන් ගෙවිය යුතු වූ රුපියල් 346,000ක මුදලක් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයෙකු පළාත් සභාවට මෙතෙක් ගෙවා නැතැයි වාර්තාවේ.

නැගෙනහිර පළාත් සභාවට අයත් උප්පුවේලි බංගලා සංකීර්ණයෙන් වායුසමනය කළ කාමරයක් ගත් මෙම ලේකම්වරයා එහි දින 173ක් රැඳී සිට ඇත.

එක් දිනක් වෙනුවෙන් රුපියල් 2000 බැගින් රුපියල් 346,000ක මුදලක් අයවිය යුතු බව ඒ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන ලේකම් හා ආණ්ඩුකාර ලේකම් වෙත යැවූ ලිපිවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන්  ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතා පැවසුවේ  එම මුදල අය කරගැනීමට  අදාළ බිල්පත එම නිලධාරියාගේ ලිපිනයට යවා ඇති බවය. 

යම් හෙයකින් ගෙවීම් පැහැර හැරියහොත් නීති මගින් කටයුතු කරන බව කී ආණ්ඩුකාර ලේකම්වරයා මෙම සංචාරක බංගලාවට අයත් පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙතරම් විශාල මුදලක් එකතු වෙනතෙක් නොසිට එය අයකර ගැනීමට කටයුතු නොකිරීම වරදක් බවද කීය.