උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

සැකකාර අධ්‍යක්ෂකවරයා සමඟ බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයන කරනු ලබන සමාගම් සඳහා උපදේශන සේවාව සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන බවට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමුවු බව ඇතැයි පොලිසිය කියයි.