උපදෙස් පිළිපදින්න‘යි අමාත්‍යාංශයෙන් ධීවරයන්ට උපදෙස්


(හර්ෂණ තුෂාර සිල්වා)

මුහුදු යෑමට පෙර සෑම විටම අදාළ උපදෙස් පිළිපදින්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ධීවරයන්ගෙන් ඉල්ලා සිටියි. පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යෑමට පෙර සෑම විටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පණිවිඩ වෙත අවධානය යොමු කරන්නැයි අමාත්‍යාංශය ධීවරයන්ට දැනුම් දී තිබේ.

ගැඹුරු මුහුදේ සහ අනෙකුත් ධීවර කටයුතුවල යෙදීමට පෙර අදාළ සන්නිවේදන හා ආරක්ෂක උපකරණ ක්‍රියාත්මක වන්නේ දැයි විමසිලිමත් වන ලෙසත් ධීවර කටයුතුවල යෙදෙන විට කිසිදු අවස්ථාවකදී සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත නොකරන ලෙසත් ධීවර හා ජලජ  සම්පත් අමාත්‍යාංශය තවදුරටත් ඉල්ලා සිටියි.

ධීවර වරායවල නිලධාරීන්ට අදාළ උපදෙස් දී ඇති බව සඳහන් කරන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නැයි ද ධීවරයන් ට දැනුම් දෙයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් හදිසි ඕනෑම අවස්ථාවකදී අතිරේක සහයෝගය ලබාගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා කරන ලෙස ධීවර වරායවල නිලධාරීන්ට දැනුම් දී තිබෙන බව ද අමාත්‍යාංශය කියයි. 

ධීවරයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇතැයි ද අදාළ උපදෙස් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීම ධීවරයන්ගේ වගකීමක් යැයි ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.