(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් මහජන සාමයට බාධාවන හා දේපලවලට හානිවන අයුරින් දින 30ක් තුළ උද්ඝෝෂණ නොපත්වවන්නැයි ඌරුබොක්ක ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු 27 දෙනකුට මොරවක වැඩබලන මහේස්ත‍්‍රාත් සී.එස්. දිසානායක මහතා ඊයේ(06) රාත්‍රියේ තහනම් නියෝගයක් නිකුත් කළේය.
විදුහල්පතිවරයාට අමතරව ගුරුවරුන් පිරිසකට හා ප‍්‍රදේශවාසීන් පිරිසකට මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඌරුබොක්ක ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු කොණ්ඩය කපාගෙන නොපැමිණිම සම්බන්‍ධයෙන් එම සිසුවාට කළැයි කියන පහරදීමක් සම්බන්‍ධයෙන් දැනට රිමාන්ඞ්භාරයේ පසුවන ඌරුබොක්ක විදුහලේ විදුහල්පති ප‍්‍රියන්ත කුමාරසිරි මහතාට පක්‍ෂව හා විපක්‍ෂව පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක සංවිධායකවරුන් බවට සඳහන් පිරිසකට මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.
එහි පළමු පාර්ශවය ලෙස විදුහල්පතිවරයාට පක්‍ෂව උද්ඝෝෂණය කරන්නට සුදානම්වන පිරිසගේ නම් අධිකරණයට දන්වා තිබුණි.
විදුහල්පතිවරයාට විරුද්ධ පාර්ශවය ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු නව දෙනකුගේ නම් දෙවන පාර්ශවය ලෙස පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණි.
මහජනතාවට කරදරයක් පීඩාවක් වන ආකාරයට ප‍්‍රධාන මාර්ග අවහිර කරමින් පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඔවුන් යොදා ගනිමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට පාර්ශව දෙකක් සූදානම් වන බැවින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විදාන සංග‍්‍රහයේ 104 වගන්තිය යටතේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

