උද්ඝෝෂණවලට නීති ක්‍රියාමාර්ග ගන්න එම්.ඕ.එච් නිර්දේශ


(සුජිත් හේවාජුලිගේ)

උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබාදීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.

මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

සැර කොරෝනා ප්‍රභේද පැතිර යමින් පවතින තීරණාත්මක අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ සහ ජනයා ඒකරාශීවීම් කිසිසේත්ම සුදුසු නොවන බව පෙන්වා දෙන රෝහණ මහතා වහා ඒවායින් මිදිය යුතු බවද පැවසුවේය.

රටේ දැනට පවතින තත්වය කිසිසේත්ම සුබවාදී නැතැයිද කොරෝනා දැඩි අවදානම්කාරී තත්වයක් පවතින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගුරුවරුන්ගේ ඔන්ලයින් උද්ඝෝෂණය දිගටම කරගෙන යෑමට ගුරු සංගම් තීරණය කර ඇත.

මේ තත්වය දිගටම පැවතිය හොත් කොරෝනා ගුරු පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.

එවැනි තත්වයක් ඇති වුවහොත් උද්ඝෝෂණ සංවිධානය කරන ගුරු සංගම් නායකයන් ඒවාට වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.