උද්ඝෝෂණයට සහය දුන්නැයි රිමාන්ඩ් කළ සූපවේදියාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්


(මනෝප‍්‍රිය ගුණසේකර)

 
හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ සිදු කළැයි කියමින් නීතීවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන එම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වශ්‍යයෙන් නම් කර රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි පවසමින් හම්බන්තොට ප‍්‍රදේශයේ  සුපවේදියකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.


සිය සේවය අවසන් කොට නිවසට යෑමට පැමිණෙන අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට පාළම මත දණගස්වා තබා පොලිසියට ගෙන ගිය පසු ට‍්‍රක් රථයෙන් බිමට බැස්ස පළමු පුද්ගලයා ඔහු වීම නිසා මෙම සිද්ධියේ ප්‍රධාන  සැකකරු ඔහු වශ්‍යයෙන් නම් කළැයි පෙත්සම්කරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා නොකළ වරදකට නීතීවිරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීම හේතුවෙන් තම සේවාදායකයාට වු හානිය වෙනුවෙන් රුපියල් මිලියන දෙකක වන්දියක් අයකර දෙන්නැයිද ඉල්ලා සිටී.


පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දන ලියනපටබැඳි මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම කැඳවනු ලබන ලබන ජුලි 07 වැනිදා වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයාට දැනුම් දුන්නේය.


මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ එන්.ටී.බී.ඒ. දෙහිදෙණිය යන මහත්වරුන් හමුවේ සළකා බැලූ අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.


හම්බන්තොට කෝගලකොළ මයුරපුර පදිංචි ඩබ්ලව්.ජී.ඒ.කේ. ජයරත්න මහතා විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිස් පරීක්‍ෂ ඩබ්ලව්.ඒ. නිමල්, මිද්දෙණිය පොලිස්යේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සංජීව, තංගල්ල ප‍්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී බී.එම්.එම්. දිසානායක, තංගල්ල ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.සී.ඒ. ධනපාල, පොලිස්පති පුජිත ජයසුන්දර සහ නීතීපතිවරයා නම් කර ඇත.