උදයංගට මිලියන 94 ක වත්කම්


ෂහාන් චාමික සිල්වා

යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිලදී ගෙන ඇති බවට හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි. 

එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්‍ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්‍ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.