උදයංග වීරතුංගගේ මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි



( තිළිණි ද සිල්වා සහ රංජන්  කටුගම්පොළ ) 
 
රුසියාවේ  හිටපු  තානාපති  උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරිම සහ බැංකු ගිණුම් තහනම් කිරිමේ නියෝගය මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට තීන්දු කරන මෙන් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අද (11) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.


සිසිර ද ආබෲ, නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ විනිසුරුවරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දෙන ලදී.


උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනියක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූණි.
 
පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.
 
ඉකුත් රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනිමේ සිද්ධියේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් තහනම් කිරිමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බව පෙත්සමේ සදහන්ය.


එම නියෝග ලබාගෙන ඇති ආකාරය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දී ඇති පෙත්සම්කාරිය මේ තුළින් උදයංග වීරතුංග මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කර තිබේ.


 කෙසේවෙතත් පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සිදු කළ කරුණු දැක්විම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට  තීන්දු කළේය .