(තිළිණි ද සිල්වා)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළව එම කොමිසමේ පොලිස් ඒකකය පිවිතුරු හෙළ උරුමයේ නායක , පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් අද (03) පැය දෙකකට ආසන්න කාලයක් පුරා ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.
තීනියාවල පාලිත හිමියන් විසින් කොමිසමට ගොනු කළ පැමිණිල්ලට අදාළව එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුවූ බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශයෙක් පැවසීය.
කොමිසම කළ නොතීසියකට අනුව ගම්මන්පිල මහතා අද පෙරවරු 9.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි එම පොලිස් ඒකකයට පැමිණි අතර පෙරවරු 11.00 දක්වා මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලයේ බදියුදීන් හිටපු අමාත්‍යවරයා විසින් රජයේ ඉඩම් අනවසර පවරා ගැනීම් සිදුකර ඇතැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් ගම්මන්පිල මහතාගෙන් වැඩිදුර ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයිද හෙතෙම පැවසීය.
විදේශීය රටවලින් මුස්ලිම් ජනතාව ගෙන්වා මුස්ලිම් ග්‍රාමනිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඒවා ඡන්ද නාමලේඛන වලට ඇතුළත් කර ඇතැයි කියමින් හා ඔහු සතුව මන්නාරමේ ඉඩම් අක්කර 3000ක් පවතින බවට වත්කම් බැරකම් ප‍්‍රකාශ වලින් හෙළි වීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම හරහා නිසි පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ලෙන් කියා තිබුණහ.
තවද මහ පරිමාණ ජාතික ව්‍යවසනයකට මුල් වූ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කටයුතු කර ඇතැයිද තීනියාවල පාලිත හිමියන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විණි.
ඊට අදාළව ප‍්‍රකාශ සටහන් කර ගැනීමට අමතරව ගම්මන්පිල මහතාට සාක්කි දීමට ලබන 11 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

