උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් සත්‍යග්‍රහයේ


(රොමේෂ් මධුෂංඛ)

තම රැකියා ගැටළුවට මෙතෙක් විධිමත් විසඳුමක් නොලැබීම නිසාවෙන් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයේ නිරතව සිටිති.

එම සංගමයේ කැදවුම්කරු පාක්‍යසෝදි සුහීන්දර් පැවසුවේ උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන මෙන් ඉල්ලා මාර්තු මස 1 වැනි දින සිට සත්‍යග්‍රහයක නිරත වූවත් උපාධිධාරීන්ගේ ඉල්ලීම් වලට නිශ්චිත හෝ පිළිගත හැකි විසදුමක් නොලද හෙයින් මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ඉදිරියටත් දියත් කරන බවටයි.

යුද මානසිකත්වයක් හමුවේ ඉතා අසීරුවෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයක්ද ලබා උපාධිය ලබා ගත්තද මේ වන තුරුත් තමන්ට රැකියාවක් නොමැති වීම දැඩි අසාධාරණයක් බවත් රජයේ නව රැකියා වැඩසටහන යටතේ උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ගැටළුවට විසඳුමක් ලබා දියයුතු බවත් කැඳවුම්කරු වැඩි දුරටත් කියා සිටියේය.