උතුරේ බස් ගැටළුවට රිෂාඩ් උසාවි යන්න යයි


(රොමේෂ් මධුෂංඛ)
 
පසුගිය දින තුනක් පුරාවට උතුරේ ධාවන කටයුතු වලින් ඉවත් වූ ලංගම බස් රථ ගැටලුව අද (04) දිනයේදී අධිකරණ මාර්ගයෙන් හෝ විසඳුමක් ලබා දී අද දිනයේ සිට බස් ධාවනය කරවන බවට කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුධීන් මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (3) රාත්‍රීයේ බස් ධාවනයෙන් ඉවත්ව සිටින වව්නියාව ඩිපෝවට ගොස් එහි කලමනාකාරවරයා ඇතුලු ක්‍රියාකරීන් හමු වී සිදු කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

පසුගිය දින තුනක් පුරාවට උතුරේ ලංගම බස් ධාවනය නොවීම නිසා ගම්මානවල වැසියන් බොහොම අසරණ වෙලා තියෙනවා. විශේෂයෙන් පාසල් දරුවන් ගුරුවරුන් වගේම සාමාන්‍ය ජනතාවත් මෙම තත්ත්වයට මුහුණපාලා තියනවා. මෙතන ගැටලුව පෞද්ගලික බස් සමඟ ඇති වෙච්ච දෙයක්. මේ වෙනකොට පොලීසියටත් ඒ ගැන පැමිණිලි 14 ක් පමණ ලැබිලා තියනවා.

මේ වෙන කොට උතුරු මහඇමැතිගේ ප්‍රධානත්වයෙන් දෙපාර්ෂවයේම බස් සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් තිබුණා කියලා දැනගන්නට ලැබුණා එහිදී ඒකාබද්ධ කාලසටහනකට දෙපාර්ශවයේම බස් ධාවනය කරන්න තීරණය වෙලා තිබෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන කොට තව කල් ගතවන නිසා දැනට තියෙන කාලසටහනට බස් ධාවනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

‘ඒ වගේම මම බස් අධ්‍යක්ෂකවරුන්ගෙන් වගේම බස් සංගම්වලිනුත් ඉල්ලා සිටිනවා අද (4) සිට බස් ධාවනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා එහෙම බස් ධාවනය නොවුණොත් අපි උසාවි ගිහිල්ලා හරි බස් ධාවනය කරන්න සිද්ධ වෙනවා’ යැයි ඇමැතිවරයා කීවේය.