උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමගම විසඳූම් හිමිවන බවයි.
මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුණේ මහ මුහුදට ගලා බසින ජල කඳ නළ මගින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරින්ට පෙන්වා දුන්නේ ය.
පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමිවනු ඇති බව ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.
යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත , යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
(28535)

