( තිලිණි ද සිල්වා )
උතුරු පළාතේ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් පිහිටි රජයේ ඉඩම් අක්කර දහසකට අධික ප්‍රමාණයක් ලබන ජනවාරි මාසයේදී නිදහස් කිරීමට සැළසුම් කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අදාළ ඉඩම් නිදහස් කිරීමට සැළසුම් කර ඇති බව යුධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව ඉඩම් අක්කර 1099ක් ජනවාරි මස දෙවන සතිය තුළ මුදාහැරීමට සැළසුම් කර තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල යුධ හමුදාව දැනට පරිහරණය කරනු ලබන රජයේ හා පුද්ගලික ඉඩම් ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් නිදහස් කිරීමේ ක්‍රියාවලියට අමතරව එම පළාත් හි යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළවල් පිහිටි රජයට අයත් ඉඩම් ද කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
ඒ අනුව කිලිනොච්චි, පුනකරි, ජයපුරම් උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 194කින් යුතු ඉඩමක් සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තවත් අක්කර 285කින් යුතු ඉඩමක් නිදහස් කිරීමට නියමිතයි.
මුලතිව්, පුදුකුඩුඉරුප්පු, උදයාර්කඩ්ඩුකුලම් ග්‍රාම නිළධාරී වසමේ සහ මන්නාරම, මාන්තෙයි, වෙල්ලම්කුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 120ක් හා අක්කර 500ක් බැගින් වූ භූමි ප්‍රදේශයක් ද ලබන ජනවාරි මාසයේදී මුදා හැරීමට සැළසුම් කර ඇති බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

