උතුරුමැද වැරදි පත්කිරීම් අත්හිටුවන්නැයි ආණ්ඩුකාර කියයි


(දයාරත්න ඇඹෝගම) 
 ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටියදි උතුරු මැද පළාතේ ප්‍රධාන පාසල් සඳහා නුසුදුස්සන් පත් කර ඇත්නම් ඔවුන් වහා ඉවත් කරන ලෙස  උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතා පළාත් ප්‍රධාන ලේකම්ට නියෝග කළේය.
 
ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් ලෙස නුසුදුස්සන් පත් කළේයැයි කියමින් ගුරු සංගම් සහ දෙමාපියෝ පිරිසසක් අද උතුරු මැද  ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූහ.
 
පළාත් අධ්‍යාපන බලධාරින්ගේ හිතවත්කම් මත මේ ආකාරයට පොලොන්නරුව සහ අනුරාධපුර   පිහිටි ප්‍රධාන පාසල් සඳ‍හා සුදුසුකම් නොමැති  විදුහල්පතිවරුන් පත්කර ඇතැයි ගුරු සංගම් චෝදනා කළේය.
 
මෙම හේතුවෙන් පළාතේ පාසල්වල පරිපාලනමය ගැටලු ඉස්මතුවි ඇති බවද උද්ඝෝෂකයෝ කියති.
 
විරෝධතාකරුවන්ගෙන් පිරිසක් පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා හමුවීමට ගොස් විදුලහ්පති පත්වීම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියහ.
 
ගුරු සංගම් නියෝජිතයන්ගේ සහ දෙමාපියන්ගේ අදහස් විමසීමෙන් පසුව මෙම ස්ථාන මාරුවීම් වහාම අත්හිටුවිමට කටයුතු කරන ලෙස උතුරු මැද ආණ්ඩුකාරවරයා  ප්‍රධාන ලෙකම්වරයාට උපදෙස් දෙන ලදි.

පසුව ගුරුවරුන් සහ දෙමාපියන් ඇමතු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම මාරුවීම් අවලංගු නොකරන්නේනම් ගුරුවරු පමණක් නොව පාසල් සියලු දෙනාම සමඟින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවයි.