උතුරු හා දකුණු කොරියාව අතර යළි සාකච්ඡා


උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසු ඉහල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. දකුණු කොරියාවේ පන්මුන්ජොම් තාවකාලික සහන ගම්මානයේ සාම මන්දිරයේදී එරට වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වී ඇති සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී ඇත.

මෙම සාකච්ඡාවේදී පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියාවේ සහභාගී වීම සම්බන්දව ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වනු ඇති බව පැවසේ. දෙරට අතර අභ්‍යන්තර සබඳතා වර්ධනය කිරීමේ හැකියාව සම්බන්දව ද සාකච්ඡා කෙරෙනු ඇති බව දකුණු කොරියාව පවසයි.

උතුරු කොරියාව පසුගිය කාලයේ දිගින් දිගටම සිදුකල න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හමුවේ දෙරට අතර සාකච්ඡා බිඳවැටුණු අතර අවසන් වරට දෙරට අතර ඉහල මට්ටමේ සාකච්ඡා පැවැත්වී තිබුනේ 2015 වර්ෂයේදී ය. මේ කාලයේ දෙරට අතර සෘජු දුරකතන සබඳතා පවා කපාහැරුනු අතර එවා නැවත ස්ථාපිත කෙරුනු බව සඳහන් විය.

(රොයිටර් ඇසුරිණි - 085)