(රොමේෂ් මධුෂංඛ)
යාපනය පේදුරුතුඩුවට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් මෙරට මුහුදු තීරයට ඇතුල් වූ අනවසර සංක්‍රමණිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ඊයේ (05) රාත්‍රී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පවුල් දෙකකට අයත් කුඩා ළමුන් 04 දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි 07 දෙනෙකු සිටින බවට නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු නාවික හමුදා වෙද්‍ය ප්‍රතිකාර හා ආහාර ඇතුළු මූලික පහසුකම් ලබා දීමෙන් පසුව එම පිරිස කංකසන්තුරෙයි පොලිස් ස්ථානට බාර දීමට නියමිතව තිබිණි.
සංක්‍රමණිකයින් පොලීසිට පවසා ඇත්තේ තමන් මුලදී යාපනයේ සිටි පිරිසක් බවත් යුද්දය නිසා ඉන්දියාවට ගිය බවත් යුද්දයෙන් පසුව නැවත පදිංචියට තම මුල් ඉඩම් සෙවීම සඳහා යාපනය පැමිණි බවත්ය.
කෙසේ වෙතත් අදාල පිරිස්හි මූලික තොරතුරු සම්බන්ධයෙන් කන්කසන්තුරෙයි පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.





