උතුරු මැද හිටපු මහ ඇමැතිගෙන් ආණ්ඩුකාරවරයාට චෝදනා


(ඩබ්. ඒ. පියතිලක)

උතුරුමැද පළාතේ සේවය කළ ඉහළ නිලධාරිනියකගේ සේවා දිගුවක් සිදු කිරිමට සහයෝගය නොදුන් නිසා  උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා  ජනාධිපති  ලේකම් කාර්යාලයෙන්  උපදෙස් දුන් බව පවසමින්  පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යංශයේ  සහ අනිකුත් ලේකම්වරු  ස්ථාන මාරු කරමින් පළාත් සභාව අවුල් කරමින් දේශපාලන පළිගැනිම් සිදු කරන බව  උතුරුමැද  පළාත්  හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල  ජයරත්න  මහතා පවසයි.

‘‘ඉතිහාසයේ කිසි දිනක උතුරු මැද පළාත් අමාත්‍යවරයෙකු නොකළ වැඩ කොටසක් අනුරාධපුරයට සහ පොලොන්නරුවට  මම සිදු කළා. නමුත් දැන් ආණ්ඩුකාවරයා කියනවා එහෙම කළේ නෑ කියලා. උතුරු මැද පළාතේ ගුරු හිඟයට උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනිමට මම කටයුතු කරද්දි ආණ්ඩුකාරවරයා තමයි එය වැළැක්වූයේ‘‘ යැයි ද ඔහු කීය.

මේ සමිබන්ධයෙන් උතුරුමැද පළාත් ආණ්ඩුකාර  පී. බී. දිසානායක මහතාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ හිටපු මහ ඇමැති හා තමා හොඳ ශි‍්‍ර ලංකා පාක්ෂිකයන් බවත් කුමන හෝ ගැටලුවක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගැනීමට හැකි බවයි.

‘‘පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනෝමා මානෙල්ට රාජ්‍ය පරිපාලන කොමිසන් සභාවෙන් ස්ථාන මාරුවක් ඇවිත් තිබුණා. පස්සේ  ඒ ස්ථාන මාරුවට ඇපිල් කළා. ඒකත් ප‍්‍රතික්ෂේප වුණා. දැන් ඒ වෙනුවට කෙනෙක් ඇවිත් ඉන්නවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ඔය  හිටපු ඇමැති තුමා කියන නිලධාරිනියගේ සේවා දිගුව මම දන්නේ නෑ. ඇය තමන්ගේ සේවා කාලය නිමා වෙලා සේවයෙන් අයින් වෙලා ඉන්නේ මම දන්න විදියට‘‘ යැයි ද ඔහු කීවේය.